නිමි අගය ඉහළ නැන්වූ දේශීය කෘෂිකාර්මික නිෂ්පාදන ගුණාත්මක බව වැඩිදියුණු කිරීම හා පසු අස්වනු තාක්ෂණ ක්‍රම හදුන්වා දීම.

බස්නාහිර පළාත ජාතික කෘෂිකර්මාන්තයට දක්වන දායකත්වය සැලකිය යුතු මට්ටමේ ඉහළ අගයක් ගනුයේ පළාත තුල කාර්මික හා සේවා අංශය දක්වන දායකත්වය ඉතා ඉහළ මට්ටමක පවතින තත්වයකදීය.

ගොවිප්‍රජාව හා කුඩා ව්‍යවසායකයන් හට පවතින වෙළඳපල ක්‍රමය තුල වැඩි ප්‍රතිලාභයක් නොලැබෙන නිසාත් කෘෂිකර්මාන්තයේ ඉතා ඉහළ ප්‍රතිලාභ මධ්‍ය හා මහා පරිමාන ව්‍යාපාරිකයන් භුක්ති විඳින නිසාත් ගොවි ප්‍රජාව හා කුඩා ව්‍යවසායකත්වයන් කෘෂිකර්මාන්තයෙන් ඈත්වීමක් දක්නට ලැබේ.

මෙම තත්වය පිළිබඳ කරුණු සොයා බැලීමේදී නිෂ්පාදනයන්ගේ නිමි අගයේ ස්වභාවය තීරණාත්මක සධකයක්ව පවතී.ගොවිප්‍රජාව හා කුඩා ව්‍යවසායකයින් බොහෝවිට තම ඵලදාව වෙළඳපලට සපයනු ලබන්නේ එහි ස්වභාවික ආකාරයෙන්මය. මීට අමතරව එම ඵලදාවෙහි අස්වනු තබා ගැනීමේ කාලය පිළිබඳව දක්වන අවදානය ඉතා අඩු මට්ටමක පවතී. එමනිසා වෙළඳපල තුල මෙම නිෂ්පාදන විශාල කේවල් කිරීම් තුල ඉතා අඩු අගයකට අලෙවිවීම් වැලැක්විය නොහැක. මේ නිසා ලබන්නාවු ප්‍රතිලාභය දරන්නාවු වෙහෙස මහන්සිය සහ ප්‍රාග්ධනයට සාපේක්ෂව ගත්කල ප්‍රමාණවත් ප්‍රතිලාභයක් නොවේ. නමුත් මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායකයන් මෙම භාණ්ඩ යම් යම් ක්‍රියාවලි ගතකර නිමි අගය ඉහල නංවා අස්වනු තබා ගැනීමේ කාලය වැඩිකර වෙළඳපලට යොමුකිරීම තුලින් ඉතා විශාල ප්‍රතිලභයක් භුක්තිවිඳිනු ලබයි.

මෙම හේතූන් මත ගොවිප්‍රජාව හා කුඩා ව්‍යවසායකයන් කෘෂිකර්මාන්තය පිළිබඳ අසතුටින් කටයතු කිරීමත් ඔවුන්ගේ ඉදිරි පරම්පරාවන් වෙනත් ක්ෂේත්‍ර කරා යොමුවීමත් කෘෂිකර්මාන්තය ගැටළුකාරී තත්වයකට ගමන් කිරීමකට ප්‍රවණතාවයක් ඇතැයි යම් විශේෂඥවරුන් මත පලකර ඇත.