අපි ගැන

බස්නාහිර පළාතේ කෘෂිකාර්මික සංවර්ධනය තුළින් ආර්ථික වර්ධනයට අවශ්‍ය පහසුකම් සැපයීම උදෙසා විවිධ බෝග වගාවන් මගින් ප්‍රජාවගේ ජීවන තත්වය නැංවීමත්, කාර්යක්ෂම වගාවන් කෙරේ ප්‍රජාව දිරිගැන්විමත්, ඒ සඳහා යෙඳවුම්, තාක්ෂණ සේවා, පුහුණු හා මූල්‍ය පහසුකම් සැපයීම උදෙසාත්, ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල ඇමතිතුමාගේ සංකල්පයකට අනුව බස්නාහිර පළාත් සභාවේ 2012 අංක 01 දරණ බස්නාහිර පළාත් කෘෂි සේවා ප්‍රඥප්තිය යටතේ පිහිටුවන ලද ආයතනයකි කෘෂි සේවා අධිකාරිය.

වාණිජ පදනමක් මත කෘෂිකාර්මික තාක්ෂණික සේවා සැපයීම, පරිසර හිතකාමි වගා ක්‍රම දිරිගැන්වීම, කෘෂිකර්මය පදනම් කර ගත් කර්මාන්ත ප්‍රවර්ධනය, කෘෂි නිෂ්පාදන අලෙවිකරණයට සහාය වීම, සුළු වාරි ප්‍රතිසංස්කරණය හා නඩත්තුව, කෘෂිකාර්මික ව්‍යවසායකයින් සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේ කාර්යභාරයද ඉහත කී ප්‍රඥප්තියට අනුව කෘෂි සේවා අධිකාරිය විසින් ඉටු කරනු ඇත.

කෘෂි සේවා අධිකාරියේ දැක්ම

බස්නාහිර පළාත් කෘෂිකාර්මික සංවර්ධනයේ ප්‍රමුඛ සේවා සපයන්නා

කෘෂි සේවා අධිකාරියේ මෙහෙවර

නිපුණත්වයෙන් හෙබි සුහදශීලී කාර්යමණ්ඩලයක් මගින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සේවාලාභීන් සදහා කඩිනම් හා විශිෂ්ඨ සේවාවක් සැපයීම

බස්නාහිර පළාත් කෘෂිකර්ම ඇමතිතුමාගේ පණිවුඩය

ස්වයංපෝෂිත කෘෂිකාර්මික සමාජයක් බිහිකිරීම උදෙසා මූලාරම්භයක් ගොඩනැගූ කෘෂි සේවා අධිකාරිය…

ශ්‍රි ලංකාවේ මානව සම්පතින් සපිරුණු මෙන්ම ශ්‍රි ලංකාව තුළ බහුල වශයෙන් නාගරීකරණයට නතුවී ඇති පළාත වන්නේ බස්නාහිර පළාතයි. මෙම තත්ත්වය යටතේ අප අමාත්‍යාංශයේ විෂය පථයට අයත් කෘෂිකර්මය පළාත තුළ ජනප්‍රිය කරමින් සහ පළාතේ ජනතාව කෘෂිකර්මාන්තයට නැඹුරු කරමින් කෘෂිකර්මාන්තය නඟා සිටුවීම අප අදිටනයි. එම අදිටන මුදුන්පත් කරගැනීමේ අටියෙන් බස්නාහිර පළාත් කෘෂී සේවා අධිකාරිය පිහිටුවන ලදී. ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දැක්ම අනුව ස්වයංපෝෂිත කෘෂිකාර්මික සමාජයක් බිහිකිරීම සඳහා කෘෂි සේවා අධිකාරිය නිබඳවම ක්‍රියා කරයි. බස්නාහිර පළාතේ කෘෂිකර්මාන්තය මුහුණදෙන ප්‍රධානම ගැටළු බවට පත්වී ඇත්තේ ශ්‍රම හිඟය සහ සිමීත ඉඩකඩයි. මෙම ගැටළු සඳහා විසඳුම් සොයමින් පාසල් කාලය සිටම කෘෂිකර්මාන්තයට ජනතාව නැඹුරු කිරීමට විවිධ වු ව්‍යාපෘතිද අධිකාරිය විසින් සංවිධානය කර ඇත. දැඩි ලෙස නාගරීකරණය වු පරිසරයක වගා කිරීමට ඇති සිමීත ඉඩකඩ නිසා කෘෂිකර්මාන්තයට යොමුවීමට මැලිකමක් ජනතාව දක්වන අතර ඒ සඳහා පිළියමක් ලෙස සිමීත ඉඩකඩක වගා කිරීමට අවශ්‍යවන උපදෙස් ලබා දීම හා ප්‍රායෝගික පුහුණු  වැඩසටහන් ක්‍රියාත්මක කිරීමද සිදු කරයි. හරිත විප්ලවය ලංකාවට සේන්දු විමත් සමඟ කෘෂිකර්මන්තය සඳහා නව තාක්ෂණය හඳුන්වා දීමෙන් ශ්‍රි ලංකාව තුළින් සම්ප්‍රදායික කාෂිකර්මය කෙමෙන් තුරන් විය. එහෙයින් සම්ප්‍රදායික කෘෂි දැනුම එකතු කර අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කරනු වස් කෘෂි සේවා අධිකාරිය සම්ප්‍රදායික කෘෂිකර්මය පිළිබඳ කතිකාවතක්ද පැවැත්විය. නාගරික නිවෙස්භුමි සංවර්ධනය කරමින් වස විසෙන් තොර එළවළු පළතුරු පරිභෝජනයට ප්‍රජාව පෙළඹවීමටද අධිකාරිය ක්‍රියාකර ඇත. ඔවුන්ගේ මෙම ප්‍රයත්නය සර්වප්‍රකාරයෙන් සාර්ථකවේවායි පතමි!

ගරු අමාත්‍ය ගාමිණී තිලකසිරි,
කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර සත්ව නිෂ්පාදන හා
සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන පිළිබඳ අමාත්‍යාංශය.

කෘෂි සේවා අධිකාරියේ සභාපතිතුමන්ගේ පණිවුඩය

කෘෂිකර්මාන්තය නඟා සිටුවීම තුලින් සෞඛ්‍යසම්පන්න සමාජයක්…

බස්නාහිර පළාත තුල වස විසෙන් තොර එළවළු හා පළතුරු වැවීමට ගොවීන් දිරි ගැන්වීම, ගෙවතු ආදර්ශන ස්ථාපිත කිරීම, පාරම්පරික දේශීය වී නිෂ්පාදනය දිරි ගැන්වීම, ගෙවත්තට පැයක් වැඩසටහන ක්‍රියාත්මක කිරීම, මී මැසි පාලනය පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම, වප මඟුල් උත්සවය පැවැත්වීම ආදී ව්‍යාපෘතීන් බොහොමයක් කෘෂි සේවා අධිකාරිය විසින් දියත් කර ඇත. මෙමඟින් ස්වයංරැකියා ලාභීන් විශාල පිරිසක් නඟා සිටුවීමට හැකි වී ඇත.

තවද, බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන් අතුරින් නව ව්‍යාපෘතියක් ලෙස 2017 වර්ෂයේදී ක්‍රියාත්මක වූ වස විසෙන් තොර ආහාර නිෂ්පාදන අලෙවි මධ්‍යස්ථානය මේ වන විට පාරිභෝගික ජනතාව අතර ඉතාමත් ජනප්‍රිය හා උසස් ප්‍රතිචාර ලැබෙන ව්‍යාපෘතියක් ලෙස සඳහන් කල හැකි අතර, ඒමඟින් අධිකාරියේ ආදායම් උත්පාදන තත්වය ඉහළ ගොස් ඇත.

කෘෂිකර්මාන්තය නඟා සිටුවීම කෘෂිකර්මාන්තයට දායක වන ගොවීන්ට අත්වැලක් වීම අපගේ ප්‍රධානතම අරමුණ වන අතර මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණි තිලකසිරි මැතිතුමාගෙන්ද, කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් නයනානන්ද නිල්වල මැතිතුමාගෙන්ද, අප වෙත ලැබෙන්නේ මහඟු සහයෝගයකි.

කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරිය විසින් සිදු කරනු ලබන සේවාවන් සඳහා මූලිකත්වය ගෙන කටයුතු කිරීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි.

රජිත හපුආරච්චි
සභාපති,
කෘෂි සේවා අධිකාරිය.

කෘෂි සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය

  • සභාපති  – රජිත හපුආරච්චි මහතා.
  • සාමාජික – ගොවිජන සංවර්ධන කොමසාරිස් (සේවා) කේ.පී.ආර්.එච්.සිල්වා මහතා.
  • සාමාජික – අධ්‍යක්ෂක (අය-වැය) (බ.ප.) එම්.ඩබ්.එස්.කුරේ මහතා.
  • සාමාජික – පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ (බ.ප) ඒ.ආර්.ඩබ්.එම්.එම්.යූ.එම්.අමරකෝන් මිය
  • සාමාජික – කෘෂිකර්ම අමාත්‍යංශය සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) (බ.ප.) – ආර්.එම්.ඒ.යූ.රාජතේව මිය
  • සාමාජික – පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ (බ.ප.) ඩබ්.ඩී.ආර්.පී.චිත්‍රාංගනී මිය.
  • සාමාජික – මහින්ද රත්න කුමාර වික්‍රමආරච්චි මහතා