සිතියම

agriබස්නාහිර පළාතේ කෘෂිකාර්මික සංවර්ධනය තුළින් ආර්ථික වර්ධනයට අවශ්‍ය පහසුකම් සැපයීම උදෙසා විවිධ බෝග වගාවන් මගින් ප්‍රජාවගේ ජීවන තත්වය නැංවීමත්, කාර්යක්ෂම වගාවන් කෙරේ ප්‍රජාව දිරිගැන්විමත්, ඒ සඳහා යෙඳවුම්, තාක්ෂණ සේවා, පුහුණු හා මූල්‍ය පහසුකම් සැපයීම උදෙසාත්, ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල ඇමතිතුමාගේ සංකල්පයකට අනුව බස්නාහිර පළාත් සභාවේ 2012 අංක 01 දරණ බස්නාහිර පළාත් කෘෂි සේවා ප්‍රඥප්තිය යටතේ පිහිටුවන ලද ආයතනයකි කෘෂි සේවා අධිකාරිය.

වාණිජ පදනමක් මත කෘෂිකාර්මික තාක්ෂණික සේවා සැපයීම, පරිසර හිතකාමි වගා ක්‍රම දිරිගැන්වීම, කෘෂිකර්මය පදනම් කර ගත් කර්මාන්ත ප්‍රවර්ධනය, කෘෂි නිෂ්පාදන අලෙවිකරණයට සහාය වීම, සුළු වාරි ප්‍රතිසංස්කරණය හා නඩත්තුව, කෘෂිකාර්මික ව්‍යවසායකයින් සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේ කාර්යභාරයද ඉහත කී ප්‍රඥප්තියට අනුව කෘෂි සේවා අධිකාරිය විසින් ඉටු කරනු ඇත.

කෘෂි සේවා අධිකාරියේ දැක්ම

බස්නාහිර පළාත් කෘෂිකාර්මික සංවර්ධනයේ ප්‍රමුඛ සේවා සපයන්නා

කෘෂි සේවා අධිකාරියේ මෙහෙවර

නිපුණත්වයෙන් හෙබි සුහදශීලී කාර්යමණ්ඩලයක් මගින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සේවාලාභීන් සදහා කඩිනම් හා විශිෂ්ඨ සේවාවක් සැපයීම

බස්නාහිර පළාත් කෘෂිකර්ම ඇමතිතුමාගේ පණිවුඩය

ස්වයංපෝෂිත කෘෂිකාර්මික සමාජයක් බිහිකිරීම උදෙසා මූලාරම්භයක් ගොඩනැගූ කෘෂි සේවා අධිකාරිය.

ශ්‍රි ලංකාවේ මානව සම්පතින් සපිරුණු මෙන්ම ශ්‍රි ලංකාව තුළ බහුල වශයෙන් නාගරීකරණයට නතුවී ඇති පළාත වන්නේ බස්නාහිර පළාතයි. මෙම තත්ත්වය යටතේ අප අමාත්‍යාංශයේ විෂය පථයට අයත් කෘෂිකර්මය පළාත තුළ ජනප්‍රිය කරමින් සහ පළාතේ ජනතාව කෘෂිකර්මාන්තයට නැඹුරු කරමින් කෘෂිකර්මාන්තය නඟා සිටුවීම අප අදිටනයි. එම අදිටන මුදුන්පත් කරගැනීමේ අටියෙන් බස්නාහිර පළාත් කෘෂී සේවා අධිකාරිය පිහිටුවන ලදී. ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දැක්ම අනුව ස්වයංපෝෂිත කෘෂිකාර්මික සමාජයක් බිහිකිරීම සඳහා කෘෂි සේවා අධිකාරිය නිබඳවම ක්‍රියා කරයි. බස්නාහිර පළාතේ කෘෂිකර්මාන්තය මුහුණදෙන ප්‍රධානම ගැටළු බවට පත්වී ඇත්තේ ශ්‍රම හිඟය සහ සිමීත ඉඩකඩයි. මෙම ගැටළු සඳහා විසඳුම් සොයමින් පාසල් කාලය සිටම කෘෂිකර්මාන්තයට ජනතාව නැඹුරු කිරීමට විවිධ වු ව්‍යාපෘතිද අධිකාරිය විසින් සංවිධානය කර ඇත. දැඩි ලෙස නාගරීකරණය වු පරිසරයක වගා කිරීමට ඇති සිමීත ඉඩකඩ නිසා කෘෂිකර්මාන්තයට යොමුවීමට මැලිකමක් ජනතාව දක්වන අතර ඒ සඳහා පිළියමක් ලෙස සිමීත ඉඩකඩක වගා කිරීමට අවශ්‍යවන උපදෙස් ලබා දීම හා ප්‍රායෝගික පුහුණු  වැඩසටහන් ක්‍රියාත්මක කිරීමද සිදු කරයි. හරිත විප්ලවය ලංකාවට සේන්දු විමත් සමඟ කෘෂිකර්මන්තය සඳහා නව තාක්ෂණය හඳුන්වා දීමෙන් ශ්‍රි ලංකාව තුළින් සම්ප්‍රදායික කාෂිකර්මය කෙමෙන් තුරන් විය. එහෙයින් සම්ප්‍රදායික කෘෂි දැනුම එකතු කර අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කරනු වස් කෘෂි සේවා අධිකාරිය සම්ප්‍රදායික කෘෂිකර්මය පිළිබඳ කතිකාවතක්ද පැවැත්විය. නාගරික නිවෙස්භුමි සංවර්ධනය කරමින් වස විසෙන් තොර එළවළු පළතුරු පරිභෝජනයට ප්‍රජාව පෙළඹවීමටද අධිකාරිය ක්‍රියාකර ඇත. ඔවුන්ගේ මෙම ප්‍රයත්නය සර්වප්‍රකාරයෙන් සාර්ථකවේවායි පතමි!

කෘෂි සේවා අධිකාරියේ සභාපතිතුමන්ගේ පණිවුඩය

වස විස නැති ගෙවත්තක් සාදාගෙන නීරෝගිමත් හෙට දවසක්…

 

අපේ මුතුන් මිත්තන් එදා දවස තම කුඹුරේ සෑදෙන වී ටික අම්බරුවන් දමා හාල්කර දර ලිපෙහි බත සකසා ගනී.  එම කුඹුරේම නියරේ සෑදෙන කංකුං, මුකුණුවැන්න, ගිරාපලා, ලුණුවිල, පොතුපලා වැනි පලා වර්ගයන් නෙලා ගෙනවිත් තම එදිනෙදා ආහාර වේලට එක්කර ගනී.  තම ගෙවත්තේ සෑදෙන කොස්, දෙල් රසවත්ව ව්‍යාංජනයක් ලෙස සකසා ගනී.  එමෙන්ම වැටට යවා ඇති දඹල වැලේ කරල් ටිකක්, මෑකරල් වැලේ කරල් ටිකක් ගෙන බත රසවත් කර ගනී.  තම පාත්තියෙන් බණ්ඩක්කා කරල් කිහිපයක් වම්බටු කරල් කිහිපයක් වත්ත පහළ කෙසෙල් කැනේ කෙසෙල්මුව පිලිකන්නේ ඇති ඇඹරැල්ලා ගෙඩි ටිකක් ගෙන කෑම වේල රජ භොජුනක් කර ගනිති.  රසකාරක ලෙස වන්නේ කුස්සිය අසල ඇති මිරිස් පැලෙන් මිරිස් කරල් කිහිපයක්ද, වළං සෝදන තැන ඇති රංපේ පඳුරෙන් කොලයක්ද, කරපිංචා ගසෙන් ඉත්තක්ද යනාදියයි.

පළතුරු කඩ හංදියක් ගානේ දක්නට තිබුනේ නැත. කීර වෙළඳුන් එදා සිටියේ නැත.  තම ගෙවත්තෙන් මේ සියලු දේම අංග සම්පූර්ණව තිබුනි.  කඩපලෙන් මිලදී ගන්නේ මාළු ටිකක් සහ මස් ටිකක් පමණි.

අද අප අසන ලෙඩ රෝග එදා දවස නොතිබිනි.  වාණිජකරණය ඒ සියල්ල වෙනස් කෙරිනි.  මිනිසුන් තම ජීවිතය මූල්‍යමය වටිනාකමක් එක්කර අනවශ්‍ය සියළුම භාණ්ඩ මිලදී ගැනීමට යොමු විය.  පවුල් ඒකක වල සංඛ්‍යාව අඩුවත්ම වැඩිපුර ඇති ඉඩම් විකුණා දමති.  පර්චස් 10 කොටසකට තාප්පයකින් වට කර කොටු වෙති.  නාගරීකරණය විය.

වෙළඳ පොලේ වෙළෙන්දා ඉක්මන් ලාභ ඉපයීම සහ වැඩි පලදාවක් සඳහා තම භෝග වලට රසායනික ද්‍රව්‍ය එකතු කරන ලදි.  එම භෝග පරිභෝජනය කරන අප හටද රසායනික ද්‍රව්‍ය ශරීරගත විය.  අහලවත් නැති ලෙඩ රෝග අපට අසන්නට ලැබුනි.

කෘෂි සේවා අධිකාරියේ එක් ප්‍රයත්නයක් වනුයේද රසායනික වර්ග භාවිතා නොකර තම ගෙවත්තේ කාබනික ද්‍රව්‍ය භාවිතා කර තමන් ආහාරයට ගන්නා දේවල් තමන්ම නිෂ්පාදනය කර ගැනීමයි.  එමෙන්ම ඉඩ කඩ සීමිතව ඇති ගෙවතු වල නාගරික ගෙවත්තක් සාදා ගැනීමට උපදෙස් දීම සිදු කරනු ලබයි.

තවද තම ගෘහයේ ඉවත ලන ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමට ස්ථාන නොමැත.  එම නිසා උපරිම වශයෙන් තම ගෘහයන්ගෙන් සුළු ප්‍රමාණයක් පමණක් පරිසරයට මුදා හැර අන් සියල්ල නිවෙස් තුලම ප්‍රතිචක්‍රීයකරණය කර කොම්පෝස්ට් බැරල් ආධාරයෙන් තම නිවසේ වගාවන් සඳහා කාබනික පොහොර සාදා ගැනීම සඳහා උපදෙස් දෙනු ලබේ.

දිනෙන් දිනම රැකියා වෙළදපොලට එක්වන ශ්‍රම බලකාය වැඩිවත්ම පවතින පාලනතන්ත්‍ර තුල ගැටළු සහගත අවස්ථාවකට මුහුණ දෙති.  ඒ සඳහා අප අධිකාරිය මඟින් ස්වයං රැකියා ලාභීන් පුහුණුකර ඔවුන් හට අවශ්‍ය උපදෙස් හා භාණ්ඩ ලබා දෙති.  ඔවුන්ගේම නිෂ්පාදන වෙළද පොලට හදුන්වා දීමට කටයුතු කර ඇත.

තවද අප අධිකාරියට වාණිජ වශයෙන් වැදගත් වන අංශ කිහිපයකටද අත යොමු කිරීමටද අප බලාපොරොත්තු වන අතර එම කටයුතු සාර්ථක කර ගැනීමට විෂයභාර ගරු ඇමතිතුමාගෙන් සහ අමාත්‍යංශ ලේකම්තුමාගෙන් ලැබෙන සහයෝගය ප්‍රසංසාත්මකය.

නිරෝගිමත් හෙට දවසක් බිහිකිරීමට කෘෂි සේවා අධිකාරිය ගන්නා මේ ප්‍රයත්නය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි මම හදපත්ලෙන් පතමි.

කෘෂි සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය

  • සභාපති  – කේ.ජී.එස්.කේ.කුලරත්න මහතා.
  • සාමාජික – ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් සුනිල් වීරසිංහ මහතා.
  • සාමාජික – නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (බ.ප.) බන්දුල ප්‍රේමකුමාර මහතා.
  • සාමාජික – පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ (බ.ප) අයී.යූ මෙන්ඩිස් මහතා.
  • සාමාජික -කෘෂිකර්ම අමාත්‍යංශය සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)  (බ.ප.) – ඩී.එල්.ඩබ්.දේවගේ මෙනවිය.
  • සාමාජික – පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ (බ.ප.) ඩබ්.ඩී.ආර්.පී.චිත්‍රාංගනී මිය.
  • සාමාජික – නෙවිල් කුලරත්න මහතා.
  • සාමාජික – එන්. ඩී. ජයපාල මහතා.
  • සාමාජික – තුෂාර එස් සුරවීර මහතා.